Thursday, June 19, 2014

ව්‍යාපෘති 1 - ස්වයංක්‍රීය වතුර මෝටරය සහ වතුර මට්ටම් දර්ශකය

හැඳින්වීම
අප එදිනෙදා භාවිතා කරන වතුර මෝටරය භාවිතයේදී ඇතිවෙන ඇතිවන ජලය පිරීයාම නොදැනීම නිසා සිදුවන නාස්තියද, කිසියම් කාර්යක නිරතවී සිටින විට ජල අවසන් වීමකදී ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම වැනි ගැටලු සඳහා පිලියම් සෙවීම මෙන්ම; ජල ටැංකියේ ඇති ජල ප්‍රමානය දැන ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුනු විය. තවද, ලිඳක් වැනි ජල මූලාශ්‍රයක් භාවිතා කරන විට, ජලය සමග මඩ වැනි අපද්‍රව්‍ය පැමිනෙන විට මෝටරය ක්‍රියාවිරහිත කිරීමද අරමුනක් වේ.

ක්‍රමය

පාලනය සඳහා මයික්‍රෝකොන්ට්‍රෝලරයක් (ක්ශුද්‍ර පාලකයක් - Microcontroller ) සමන්විත වේ.ජල මට්ටම් මැනගැනීම සඳහා ජලයේ විද්‍යුත් සන්නායකතාවය පදනම් කරගත් සෙන්සර හතරකින් යුක්තය. මෙම සෙන්සර අවම, උපරිම සහ මැද ස්තාන දෙකකින් යන ජල මට්ටමේදී සවිකල යුතුය. ජලයෙහි අපද්‍රව්‍ය සහිත/රහිත බව දැන ගැනීම සඳහා ජලයෙහි පාරදෘශ්‍යතාවය මැන ගැනීමට සෙන්සරය මෝටරයට ජලය ඇතුල්වන ස්තානයට මදක් දුරින් සවිකල යුතුය. මෙම සෙන්සරය එල්.ඊ.ඩී. (LED) එකක් ඉදිරියෙන් සවිකල පොටෝට්‍රාන්සිස්ටරයකින්ද (Photo-Transistor), එම සැකැස්ම හරහා ජලය ගලායන පරිදි යුක්ත වේ.
ලිඳ හෝ භුගත ටැංකියෙහි ජලය අවසන් වූවිට වතුර මෝටරය ක්‍රියාවිරහිත කල යුතුහෙයින් එය සඳහා සෙන්සරයකින් යුක්ත වේ.
වතුර මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා රිලේ උපාංගයක් බාවිතාකරන ලදී. ජල මට්ටම්, වතුර මෝටරයේ ක්‍රියාකාරිත්වය හා ජලයේ තත්වය දැනුම්දීම සඳහා, අකුරු දර්ශනය කරන එල්.සී.ඩී. එකක් භාවිතාකරන ලදී.

පරිපතය

ස්වයංක්‍රීය වතුර මෝටරය සහ වතුර මට්ටම් දර්ශකය


පරිපතය, කොරල්ඩ්‍රෝ භාවිතාකොට මුද්‍රිත පරිපතයක් ඇඳ ස්ක්‍රීන් මුද්‍රණය භාවිතයෙන් තඹ පුවරුවකට මුද්‍රණය කොට මුද්‍රිත පරිපතයක් සාදන ලදී.

මුද්‍රිත පරිපතය


(For the English translated version of this Blog, Please visit to Electronic World )

Sunday, May 25, 2014

විදුලිය පිලිබඳ කතාන්තරය 1

විදුලිය අද අප ජීවිතයේ නැතුවම බැරි අංගයක් බවට පත්වී තිබෙනවා. අද පැයක පමන විදුලිය අත්හිටවීමක් සිදුවුවහොත් අප ජීවිතයට සිදුවන බලපෑම කෙබඳුද ?
එහෙත් වසර සියදහස් ගනනකට පෙර මිනිසා දුටු විදුලිය නම් ගෙනාවේ විනාශයයි. ආදි මිනිසා දුටු විදුලිය වන අකුණු සරය ගිනි ඇතිකිරීමටත්, ගස් පර්වත විනාශ කිරීමටත් සමහර අවස්තාවලදී ජීවිත හානි සිදු කිරීමටත් හේතු වුනා. ඒ විනාශය ඇතිකල දෙය හීලෑ කර සේවකයකු බවට පත් කර ගත හැකිවෙතැයි කිසිවිට නොසිතන්නට ඇති.
විදුලියෙහි ගති ලක්ෂණ පිලිබඳ දැනගැනීමට බොහෝ කලකට පෙර මිනිසා විදුලි ආඳා හා, විදුලි සරය ගැන දැනන් සිටියා. ක්‍රිස්තු පූර්ව 2750 පමන වන පැරණි ඊජිප්තියානු ලිපියක සඳහන් වන පරිදි ඊජිප්තියානු වැසියන් විදුලි ආඳා හැඳින්වූයේ 'නයිල් නදියේ අකුණු සරය' ලෙසයි.

'ඇම්බර්' යනු ශාක මැලියම් ඝන වීමෙන් වසර මිලියන ගනනක ඇවෑමෙන් සෑදෙන ද්‍රව්‍යක්. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පමන මධ්‍යධරණී මුහුද අවට ජීවත්වූ ජනයා ඇම්බර් වෙලඳාම කල අතර, එයින් ආභරණ සෑදුවේය.
ඇම්බර් ලෝම වල ඇතුල්ලූ පසු කුඩා පිහාටු වැනි සැහැල්ලු දෑ එහි ඇලෙන බව ඔවුන් නිරීක්ෂණය කල දෙයක්. මෙම සංසිද්දිය විස්තර කිරීමය උත්සාහ කල කෙනෙක් වන්නේ මිලෙතස් හි ජීවත්වූ තෙල්ස් (Thales of Miletus ) නම් නැමැත්තායි. මුල්ම ග්‍රීක දාර්ශනිකයෙකු වන ඔහු 'ග්‍රීක දර්ශනයෙහි' පියා ලෙස ඇරිස්ටෝටල් විසින් නම් කර තිබෙනවා. එසේම ඔහු 'විද්‍යාවේ පියා' ලෙසත් හඳුන්වනවා. තෙල්ස් විසින් ඇම්බර් හි ඇතිවන ඇදගැනීමේ ගුණය, කාන්දම් බලයක් ලෙස හදුන්වා දී ඇත. ඇතිල්ලීම නිසා ඇතිවන කාන්දම් බලය ලෙස ඔහු එය විස්තර කලේය.
තෙල්ස් ගෙන් පසු ඇම්බර් සහ ඇම්බර් මගින් ඇතිකරන 'කාන්දම්' බලය ගැන විද්‍යා ලෝකයට අමතක වූ අතර, නැවත ඒ පිලිබඳ පර්යේෂණ පවත්වන්නේ ක්‍රිස්තු වර්ෂ 1600 තරම් මෑතකදීය.
එසේ නම් වසර 2200කට පසු මුනගැසෙමු.......

ලබන සතියට....... (හී..... හී........)

(For the English translated version of this Blog, Please visit to Electronic World

Saturday, April 26, 2014

ආයුබෝවන් !

මම බ්ලොග් ලෝකය හඳුනගත්තේ ඕස්ට්‍රේලියාවේ පඳිංචි මගේ නොදුටු මිතුරිය රෝෂිනී නිසායි. අප දෙදෙනා 2009 පමන සිට නොයෙකුත් දේවල් ගැන කතා කලා, වාද කලා,නොදන්න දේවල් කියල දුන්නා, තරහ උනා යාළු උනා. දිනක් ඇය ලින්කුවක් එවුවා බලන්න කියල. එදා තමා මම සිංහල බ්ලොග් එකක් බලපු මුල්ම දවස. එය කතාන්දරගේ බ්ලොගයේ ලින්කුවක්. ඊට පසු වරින්වර මාතලන්ගේද, මාරයාගේද ලිපි බලන්න කියල ලින්ක් එවුවා.
දිනක් ඇය මට මුලින්ම කිවුවේ 'අද මට හරිම දුක දවසක්, බ්ලොග් ලෝකයට අද අදුරු දවසක්'. එදා තමා ඔබ කාගේත් ආදරණීය ඔබා මාමා මියගිය දවස. මම ඔබා මාමගෙ බ්ලොගයේ ලින්කුව ඉල්ලන් එය බැලුවා. මම කොච්චර එයට කැමතිඋනාද කියතොත් හවස 6ට පමන කියවන්න පටන් ගෙන පහුවදා උදේ වෙනකන් සම්පූර්ණ බ්ලොගයම කියවලා තමා නිදාගත්තේ. ඔබා මාමා අදුර ගන්න නොහැකි උනත්, එතුමා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් සොඳුරු මිනිසෙකු බව සිංහල බ්ලොග් ලෝකය එතුමා වෙනුවෙන් දුක්වූ තරමින් පෙන්නුම් කලා.
එහෙම පටන් ගත්ත බ්ලොග් කියවීම, අද දක්වාම කරනවා. මාරයාගෙ හොරාව, මාතලන්, නිදහස් සිතුවිලි, සංසාරේ අපි සහ ලඟකදි ඉඳන් කෙන්ජිගෙ කොලම මම වැඩිපුර කියවන ඒවා උනත් වෙලාවක් ලැබෙන විදිහට අනෙක්වාත් කියවන්න අමතක කරන්නෙ නෑ.
වසර ගනනක සිට බ්ලොග් කියවීමත්, මාස 6ක පමන සිට කොමෙන්ට් ලිවීම කරපු මට බ්ලොග් එකක් පටන් ගන්න ආසාවක් තිබුනත් මම මොනවා ලියන්නද කියන ප්‍රස්නෙ හිතේ තිබුනා. ඉතින් මම තීරණය කලා මම ආසම දෙයක් වන ඉලෙක්ට්‍රෝනික විද්‍යාව ගැන ලියන්න. ඉලෙක්ට්‍රොනික විද‍යාව කිවුවට මම ලියන්න අදහස් කරන්නේ මම කරන ප්‍රොජෙට්ස්. විශ්ව විද‍යාල වල ඉලෙක්ට්‍රොනික විද්‍යාව කරන අයට එයාලාගේ අවසන් වසර් ප්‍රොජෙට් කරල දෙන එක මම වසර එකහමාරක පමන් ඉදන් මම කරනවා. එයාලාගේ ප්‍රොජෙට්ස් තමා මම ඔයාලාට ඉදිරිපත් කරන්නේ.ඒ වගේම ඉලෙක්ට්‍රොනික මූලධර්ම ගැනත් ලියන්න මම අදහස් කරනවා. ඒක මූලික දැනුම සොයන අයට උදවුවක් වේවි.
ඉතින් ඉලෙට්‍රොනික වලදී භාවිතා කරන සමහර වචන සඳහා සිංහල වචන හොයාගන්න බැරිවුනාම ඉංග්‍රීසි වචනය භාවිතා කරන්න වේවි. ගැලපෙන සිංහල වචනය දන්නවනම් ඉදිරිපත් කරන්න.

(For the English translated version of this Blog, Please visit to Electronic World )