Monday, July 17, 2017

රාස්ප්බෙරි පයි මූලික හැඳින්වීම - Raspberry Pi Introduction

රාස්ප්බෙරි කිවුවාම අපිට සිහියට නැගෙන්නෙ පළතුරක්. අපේ රටේ තියන ඇඹිල්ල එහෙම නැත්තම් මල්බෙරි පලතුරට නැකම් කියන යුරෝපාකරයේ තියන පලතුරක් තමයි රාස්ප්බෙරි කියන්නේ.
ඔන්න දැකල නැති අයට බලාගන්න පහතින් දැම්මා.




ඇඹිල්ල නොහොත් මල්බෙරි
රාස්ප්බෙරි


'පයි' කිවුවාම ගොඩක් අයට සිහිවෙන්නෙ සුප්‍රසිද්ද ග්‍රීක අකුරක් වන π. වෘතයක, පරිධියත් අරයත් අතර අනුපාතය කියවෙන බොහොම සුවිශේෂ අගයක් නිරූපිත අකුරක් තමයි. තවත් අයට සිහියට නැගෙයි.
යුරෝපයේ ප්‍රසිද්ද අතුරුපසක් තමයි 'පයි' කියන්නෙ. පළතුරු කැබලි පුරවා තුනී පිටි මෝලියකින් දවටා පෝරනුවක පිසගෙන ගන්නා රවුම් හැඩැති අතුරුපසක් තමයි 'පයි'.
රාස්ප්බෙරි පුරවා හදන පයි අතුරුපසට 'රාස්ප්බෙරි පයි' කියල කියනව. කටට කෙල උනන රාස්ප්බෙරි පයි එකක පින්තූරයක් තමයි පහතින් තියෙන්නෙ.

රාස්ප්බෙරි පයි අතුරුපස
 දැන් හිතෙනව ඇති මොකද මේ මෙච්චර පළතුරු සහ පළතුරු වලින් හදන අතුරුපසවල් ගැන ඉලෙක්ට්‍රොනික් ගැන තියෙන බ්ලොගයක කතා කරන්නෙ කියල. වැරදි බ්ලොග් සටහනකට ඇවිල්ලද කියලත්. නමුත් වෙනස්වන ලොකයේ රාස්ප්බෙරි පයි කිවුවාම ඇඳෙන චිත්ත රූපය දැනට වසර පහකට පෙර වෙනස් වුනා.
අද ගූගල්ට 'Raspberry Pi' කියල හොයන්න කිවුවොත් පෙන්නන්නෙ මෙන්න මේක.

The Raspberry Pi
මොකද්ද මේ රාස්ප්බෙරි පයි කියන්නෙ ඇත්තටම ?

රාස්ප්බෙරි පයි කියන්නෙ Credit Card නැත්තම් ATM card එකක් ප්‍රමානයේ කුඩා පරිඝනකයක්.පොඩි වුනාට මෙයාගෙන් කරගන්න පුලුවන් වැඩනම් පොඩි නෑ. රාස්ප්බෙරි පයි එකට පරිඝනක යතුරු පුවරුවක්, පරිඝනක තිරයක් එහෙම නැත්තම් සාමාන්‍ය රූපවාහිනී තිරයක් වුනත් සම්බන්ද කරන්න පුලුවන්. පොඩි ක්‍රමලේඛනයක් දුවන්න, MySQL server, Apache web server එකක් වගේම සාමාන්‍ය පරිඝනකයක් විදිහට Spread sheet, Word Processing සහ අන්තර්ජාලයේ සැරිසරන්න වගේම පරිඝනක ක්‍රීඩා කරන්න මේක බාවිතා කරන්න පුලුවන්. ඒවගේම මෙහි තියන බලවත් වීඩියෝ දත්ත සැකසුම් ඒකකය නිසා High Definition වීඩියෝ බලන්නත් පුලුවන්.

කවුද මේක හොයාගත්තෙ ?

2006 වසර වෙනකොට කේම්බ්‍රිජ් විශ්වවිද්යාලයේ පරිඝනක විද්‍යා අංශයට ඇතුලත් වන සිසුන් සංඛ්‍යාව අඩුවෙනකොට සහ එම සිසුන්ගේ පරිඝනකමය හැකියාවන් පහල යනකොට, කේම්බ්‍රිජ් විශ්වවිද්යාලයේ පරිඝනක විද්‍යාගාරයේ සේවය කල එබන් අප්ටන් (Eben Upton), රොබ් මුලින්ස් (Rob Mullins), ජැක් ලැංග් , (Jack Lang) සහ ඇලන් මෛක්‍රොෆ්ට් (Alan Mycroft) යන කංඩායම එයට පිලිතුරක් ලෙස කුඩා සහ අඩු මුදලකින් නිපදවිය හැකි පරිඝනකයක් නිර්මාණය කර ඉගෙනීමට බාවිතාකරන්න හිතුවා.
එම කංඩායම නිර්මාණයන් කිහිපයක් කලද එකල පැවති අඩු බල ප්‍රොසෙසර සහ අධික වියදම යන කාරණා නිසා සාර්තක වුනේ නෑ.
පසුව 2008 දී කංඩායම නොර්කොට් ටෙක්නොලොජීස් (Norcott Technologies) විධායක අධ්‍යක්ෂ පීට් ලෝමස් (Pete Lomas) සහ එලීට් පරිඝනක ක්‍රීඩාවේ සම නිර්මාතෘ ඩේවිඩ් බාර්බන් (David Braben) යන අය සමග 'Raspberry Pi Foundation' යන ලාභනොලබන ආයතනය පිහිටුවා ගත්තා.
වසර තුනකට පසු රාස්ප්බෙරි පයි මූලික නිශ්පාදනය සිදුකරන ලද අතර, මූලික පරීක්ෂණ හා නිවැරදි කිරීම්වලට පසුව 2012 පෙබරවාරි 29 ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 6ට රාස්ප්බෙරි පයි මොඩ්ල් ඒ (Raspberry Pi Model A) විකිනීම ආරම්බකලා. වසර දෙකක් යනවිට මිලියන 2ක් උපකරණ විකුනා තිබුනා.
එදා සිට අද දක්වා රාස්ප්බෙරි පයි මාදිලි 11ක් එලිදක්වා තියෙන අතර පදනම විසින් නිකුත් කරන මැග්පයි සඟරාවට අනුව පසුගිය වසර 5ක කාලය තුල මිලියන 12.5ක ප්‍රමානයක් විකිනී ඇත.
නිකුත් කර ඇති මාදිලි නම්,

Raspberry Pi 1 Model A
Raspberry Pi 1 Model A+
Raspberry Pi 1 Model B
Raspberry Pi 1 Model B+
Raspberry Pi 2 Model B
Raspberry Pi 3 Model B
Raspberry Pi ZERO
Raspberry Pi ZERO W
Raspberry Pi Computer Module 1
Raspberry Pi Computer Module 3
Raspberry Pi Computer Module 3 Lite

මැග්පයි සඟරාවට අනුව විකුනා ඇති මාදිලි ප්‍රතිශතයක් ලෙස මෙලෙස වේ,

මූලාස්‍රය : https://www.raspberrypi.org/magpi/raspberry-pi-sales/
ඉදිරිලිපි තුලින් රාස්ප්බෙරි පයි හි දෘඩකාංග හා මෘදුකාංග ගැන සාකච්චා කිරීමට බලා පොරොත්තුවේ. පසුව රාස්ප්බෙරි පයි යොදාකල හැකි නිර්මාණ පිලිබඳව බලාපොරොත්තු වන්න.

මූලාස්‍ර :

1. https://www.raspberrypi.org/
2. https://en.wikipedia.org/wiki/Raspberry_Pi
3. https://en.wikipedia.org/wiki/Raspberry_Pi_Foundation
4. https://www.raspberrypi.org/magpi/raspberry-pi-sales/

(මේ ලිපියේ සමහර ඉන්ග්‍රීසි වචන සඳහා සිංහල වචන මම දන්නේ නෑ. ඒවා සඳහා සිංහල වචන යෝජනා කරන්න.)

(For the English translated version of this Blog, Please visit to Electronic World )


No comments:

Post a Comment